මාතෘකාව ගැටළුවකි

ඔෆිස් එකේ උදේ පාන්දරම විරහ ගීත ඇහෙන්න පටන් ගත්තාම මම ඇතුලට හැරිලා බැලුවා. මූ වැලහින්න වගේ අඬනව.

“ඇයි? අද මොකද තොට වුනේ?“ කතාව අරහෙන් මෙහෙන් දන්න නිසා මම ටිකක් කේන්තියෙන් ඇහුවා. මූ ෆෝන් එක එලියට අරගෙන ආපු SMS එකක් මට පෙන්නුව.

“ඇද්ද උඹට? ඕක නේද අහගන්න ඕන වුනේ. ගොන් ආඳා වගේ පස්සෙන් යනකොට මම තොට කිව්ව නේද? දැන්වත් තේරුම් ගනින්. ඒකිට උඹෙන් වැඩක් නැහැ“, කියන්න කියන්න මූ හිතනව වැඩි.

“මම කෝල් එකක් දෙනව බං“ විනාඩි දහයක් විතර හිතල හිතල මූ කිව්ව. මට තවත් යකා නැග්ග. “අහවල් මගුලක් අහගන්නද? බලපන් උඹව කිසිම හැඟීමක් නැතුව බෙල්ලෙන්ම කපල දාන්නැද්ද කියල“. කිව්වත් වගේ ට්‍රයි කරල ට්‍රයි කරල කෝල් එකක් අරගෙන මූ අහගත්තෙ ඒ ටික.

“මට ඔයත් එක්කම ඒ අතීතෙ අමතක කරල දාන්න ඕනෙ. ඒ නිසා මේ කතාවෙන් වැඩක් නැහැ“ කියල ඒකි කියනකොට මූ රං ගොජා වගේ තවත් බැගෑපත් වුනා. “මට ඔයා නැතුව ඉන්න බැහැ. මට ආදරේ කරන්න එපා. අඩුම ගානේ මාත් එක්ක ටිකක් කතා කරන්න“ කියද්දිත් දෙසැම්බර් වල සීතලම දවසටත් වැඩිය සීතල හදවතකින් ඒකි මූව කපල දැම්ම.

“ඒකි ආයෙ කවදාවත් මගෙ ජීවිතේට එන්නෑ බං“, කෝල් එක ඉවර වෙලා මූ බිම බලාගෙන හෙමින් සැරේ ඇස් දෙකේ කඳුලු පිහ දානකොට මට පොඩි අනුකම්පාවක් හිතට ආවත් මේ හැමදෙයක්ම මුගෙ මෝඩකම නිසා කියල මතක් වුන නිසා කට වහගෙන හිටියා.

උදේට කෑවට වැඩිය මූ කඳුලු බිව්ව. වැඩ කරද්දිත් ඉඳල හිටල ඉකියක් දෙකක් ඇහෙනකොට මම ස්ක්‍රීන් එක දිහාම බලාගෙන හිටියෙ ඒ වෙද්දි මට මුගෙ ඇඬිල්ල තිත්ත වෙලා තිබුන නිසා. අනුකම්පා කරන්න පුලුවන් වෙන්නෙ මූට මේක වෙන කොහෙන් හරි කඩාපාත් වුනා නං. ඉල්ලගෙන කාපු දේකට මට මූට අනුකම්පා කරන්න හිතුනෙ නෑ. මුගෙ ඇඬිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න මම අනිත් උන් එක්ක වැඩි වැඩියෙන් විහිලු කියෙව්වා.

ටිකක් දවල් වෙද්දි ඇඬිල්ල නතර කරල මම ඌත් එක්ක එකඟ වෙන එකම දේ ඌ යෝජනා කලා. “මචං හවසට බොමුද? මට මේකිව ඇල්කොහොල් වලින් හෝදල අයින් කරල දාන්න ඕනෙ“. තව සෙට් එකකටත් කතා කරල එකෙක්ගෙ ගෙදර සෙට් වෙන්න ප්ලෑන් කරගත්තෙ මටත් වැඩ කන්දරාව අස්සෙ ටිකක් බොන්න තිබුනනං හොඳයි කියල හිතුන නිසා.

http://vandalworks.deviantart.com/art/freshly-lit-40440059

සෙට් වුනාම මූ අඳුරු මුල්ලකට වෙලා හිටිය. මූව දැක්කෙ සැරින් සැරේට එලිය වැඩිවෙන සිගරට් දැල්ලෙන්. බීලා තට්ටුවක් දාන අස්සෙ මූ විරහ ගීත බොක්කෙන්ම කිව්ව. ඉතුරු ටිකේ බාවනාවෙන් වගේ පිච්චනෙ කූර දිහා බලාගෙන හිටියා. සිගරට් එක ඇතුලෙ තියෙන දැල්ල එලියට ආපු ගමන් අලු වෙනව. එහෙම්මම අලුවෙලා ගිහින් අන්තිමට බට් එක පොඩි කරල දාන කොට සිගරට් එකේ වටිනාකමක් නැහැ.

මීට කලිනුත් මූ මේ වගේ ඩිප ගහල ඉඳල තියෙනව. එදාට මූත් එක්ක බියර් එකක් බොනකොට මට මූ ගැන ආවෙ අනුකම්පාවක්. ඒත් මෙදා සැරේ මට වැඩිවෙන කේන්තිය ඇතුලෙ අනුකම්පා කරන්න ඉඩක් ලැබුනෙ නෑ. මේ ඔක්කොම මූ නිසා. අරකි මුල් කාලෙ ආස්‍රය කරද්දිත් මම මූට නොකිව්ව වෙලාවක් නැහැ “ඕක උඹටවත් ඒකිටවත් වැඩක් තියෙන දෙයක් නෙමෙයි. නවත්තපං දැන්වත්“ කියල. ඇහුවෙ නැහැ. අන්තිමට ඒකි යන්න ගියාම මූ නැත්තටම නැති වෙන්න ලං වුනා. අන්තිමට කාලයක් මම කියන දේ අහල වැඩක් බලාගන්න හැදුවත් මූට අරකිව අමතක කරන්නම බැරි වුනා. ඒකෙ අන්තිම ප්‍රතිඵලය වුනේ අද මූ පැත්තකට වෙලා එක දිගට සිගරට් බොන එක. මේ හැම දේකටම විසඳුමක් හැටියට මූණ වටේ කැරකැවුන සිගරට් දුම අස්සෙන් මගෙ හිතට කිනිස්සක් වගේ අදහසක් ඇණුනා. ඒත් ඒ එක්කම තව විස්කි අඩියක් උගුරට හලාගෙන මම ඒ අදහස අමතක කලා. මොනව වුනත් මූ ඉන්න තත්වෙ හැටියට මට ඒක කරන්න හිතුනෙ නෑ.

පාන්දර වෙනකොට මූ කර්පට් වෙන්න ගහල හිටියෙ. තාමත් ඇස් දෙකේ කඳුලු. හිතුව විදියට මූට ඒකිව හෝදල අයින් කරන්න බැරි වෙලා වගේ. මම උගෙ එක අතක් කරපිටින් දාගෙන අනිත් උන්ටත් යන්නං කියල ඉර නගිද්දිම වගේ ගෙදරට ගෙහින් ඇඳට දැම්මා.

“මචං අනේ බණ්ඩාර අතාවුදයගෙ සින්දු ටික දාපං“ කියාගෙන මූ කොට්ටයක් බදාගෙන ගුලි වුනා.

“සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ“ කියල ලිස්ට් එක පටන් ගනිද්දි මුගෙ ඉකි ගැසීම ආයෙ පටන් ගත්තා. ඊලඟට සිද්ද වුන දේවල් සිද්ද වුනේ තත්පර විස්සකටත් අඩු කාලයක් ඇතුලත.

දොර මුල්ලෙ තිබුන දොර පොල්ල අරගෙන මම ඇඳ ගාවට ආවා. මූ පිස්සුවෙන් වගේ බිත්ති හරහා ගව් ගානක් ඈත බලාගෙන හිටියෙ. වැඩි දෙයක් හිතන්නෙ නැතුව මම දෑත බදල දොර පොල්ලෙන් මුගෙ ඔලුවට හරියටම ගැහුවා එක පාරක්. පාර කාගෙනම මූ ටිකක් කකුල් ගැස්සුවා. ඒක දෙවෙනි පාරෙන් පස්සෙ නැතුව ගියා. තුන්වෙනි පාරක් ඕන වුනේ නැහැ. මම දොර පොල්ල මුල්ලෙ තියල එද්දි අර කලින් අනන්තය දිහා බලාගෙන හිටපු බැල්ම එක්කම මූ මියැදිලා තිබුන.

ටිකක් වෙලා හති ඇරිය මම කරපු දේ ගැන කල්පනා කරල බැලුව. මට කිසිම පසුතැවිල්ලක් ආවෙ නැහැ. ඒ ආවත් අරූ මැරුණාම දැනුන සැහැල්ලුව ඒ පසුතැවිල්ල යට කරල දාන්න ඇති.

මේ කතාව ලියන්න ඕනෙ කියල ලැප්ටොප් එක දිග අරිනකොට මගෙ හිතේ තිබුනෙ එකම ප්‍රශ්නයයි. ඒ මේකට මාතෘකාව දාන්නෙ “හදවත මරා දැමූ මිනිසා“ ද නැත්තං “රෝගී හදවතක අවසානය“ ද කියන එක විතරයි.

http://plato86.deviantart.com/art/killer-98652818

9 thoughts on “මාතෘකාව ගැටළුවකි

  1. සමහර මතකයන් පොල්ලකින් ගහලා මරලා දාන්න ඕන වුණත් එහෙම කරන්න බැරි එකයි අවුල!

  2. Nicely put.. nicely mapped!! Looking at the brighter side I’d call this “Navatha ipadima” or something in that line.

  3. තමන්ගෙම හිත් දෙකක කතාවක්…. මන්දා උඹ මේක ලිව්වෙ එහෙම හිතලද කියල… Bims කියපු එකෙන් තමයි මටත් ඒක කික් වුණේ..

  4. මතකයක් ඔහොම පොල්ලෙන් ගහල වලලන්න පුළුවන්නම්… එහෙම බෑනේ. ඒකත් හොඳයි… විරහ ගීත අහන්නවත්… බොන්නවත්… දුමක් දාන්නවත් නෙමෙයි… පොඩි මනෝ පාරක් දාගෙන හීනි හිනාවකින් තමන්ටම හිනා වෙන්න

  5. මීට වසර 50කට පමණ පෙර පළවූ කෙටි කතා පොතක මෙවැනිම අදහසක් දිටිමි. එහිදී අමද්‍යප ව්‍යාපාරයක් ඇසුරින් බේබද්දකු සිය බේබදු ආත්මය මරා දැමීම ගැන කියැවේ. බේබද්දාගේ නම නිකුලස් පෙරේරා බව මතකය. රචකයා මතක නැත.