විදූ : කෝ හඳයා? | Vidhu

සිනමාහලින් එලියට ආපු අපේ හිත් වලට මුලින්ම ආපු අදහස තමයි ඒ.

කෝ හඳයා?

ඒ ගැන පසුවට. අපි මුලින් විදූ ගැන බලමු.

විදූ කියන්නෙ උප්පැන්න සහතිකය නැති නිසා පාසැලට ගන්න බැරි ලමයෙක්.

“දඩාවතේ ගිහින් දැන් එනවා ලමයි ඉස්කෝලෙට දාන්න.”

විදුහල්පති කාමරයෙන් පිටවෙලා යන විදූගෙ අම්මා ගැන විදුහල්පතිගෙ අදහස එහෙමයි.

“ඇයි ඔයා මේ සල්ලි ගන්නෙ නැත්තෙ? ඔයා ඩොලරයක්වත් වටින ලමයෙක් නෙවෙයි”

මේ සුද්දෙක් විදූට කියන දේ.

ඒත් පාසැල් අධ්‍යාපනය කැප නැති ඩොලරයක්වත් වටින්නෙ නැති විදියට හංවඩු ගැහෙන විදූ එහෙමම ජීවත් වෙන්න ඕනෙ ද?

විදූ කියන්නෙ අසෝක හඳගම ලංකාවේ නව යොවුන් පරපුරට කරන ඉල්ලීමක්. තමන්ගෙ ගමේ පාසැලට එක වසරින් ඇතුලත් වෙන සංඛ්‍යාවෙන් දහයෙන් එකක්වත් රජයේ ආයතන වල උසස් අධ්‍යාපනය ලබන්න වරම් නොලබන, ඒ නිසාම උපාධියක් කියන්නෙ තමන්ගෙ එකම ගැලවීම කියල හිතාගෙන ඉන්න, පෞද්ගලික සරසවි වලට විරුද්ධවත් පක්ෂවත්  තර්ක නගමින් ඒ මතම නැහෙන තරුණ සිසු පරපුරට කරන සමච්චලයක්.

අපි හැමෝගෙම වටිනාකම හොරකම් කරගෙන ද? විදූට තියෙන ප්‍රශ්නෙ ඒකයි. ඒත් ඔහු ඒ වටිනාකම ඉබේ ලැබෙනකම් බලාගෙන ඉන්නෙ නැහැ. ඔහුගේ හැකියාවෙන් ඔහුට ගන්න පුලුවන් ඉහලම වටිනාකම ඔහු ලබා ගන්නවා. ඔහුගේ ලෝකයට වීරයෙක් හදාගන්නවා. ඒ තමන්වමයි.

“සුපර්මෑන්ලා, ස්පයිඩර්මෑන්ලා, හැරී පොටර්ලා” ඔහුගෙ ඇස් ඉදිරියෙ නිකන් කාඩ්බෝඩ් වීරයො විතරයි.

තමන්ව හොයා ගන්න බැරුව අතරමං වෙලා වගේ හිතෙනවනම් විදූ ඔබට සිනාසෙයි. ඔහුගේ පලවෙනි කතාව කරන්නෙ හොරකම් කරගත්ත ඇඳුමක් ඇඳගෙන. එතනින් දෙන පණිවිඩේ හොරකම් කරලා දියුණු වෙන්න කියන එක නෙවෙයි. තමන්ට මොනව හරි ලබාගන්න ඕනෙ නම් මුලු ලෝකෙම ඒ දේ ලබාදෙන්න කුමණ්ත්‍රණය කරනව කියන එකයි. ඒත් එහෙම වෙන්නෙ තමන්ට ලබාගන්න මහන්සියෙන් උත්සහ කරන කෙනාට විතරයි. සන්තියාගෝ නම් සැරසරන්නා ගිය ගමන විදූ යන්නෙ මේ කතාව සියදහස් වරක් ඔප්පු කරමින්.

මේ සරල පණිවිඩය හඳගම ලබාදෙන්නෙ සමාජයේ අනිත් තැන් වලටත් හිමින් සීරුවෙ ටොකු ඇනල. අධ්‍යාපනය, දේශපාලනය, සුබසාධනය වගේ අපේ රටේ දවසින් දවස වේගයෙන් පරිහාණියට පත්වෙන ආයතන ගැන පොඩි අනතුරු ඇඟවීමකුත් කරලා. විශේෂයෙන්ම විදූගෙ කතා වල අන්තර්ගත වෙලා තියෙන මූලික කරුණ හැල්මෙ දුවන අපට හිතන්න දෙයක්. කෝ අපේ වටිනාකම?

පැහැදිලිවම විදූ ආමන්ත්‍රණය කරන්නෙ තරුණ වියට පා තබන පරම්පරාවට. සංකීර්ණ නොවූ සරල කතාවක් යොදා ගෙන ඒ අරමුණ වඩාත් හොඳින්ම ඉටු කරගෙන තියෙනවා. සංකේත භාවිතය යොදාගෙන තිබුනත් අදාල වයස් මට්ටම් වලට පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන් වෙන විදියකට පරිස්සම් වුන බවක් චිත්‍රපටියෙ පෙනෙන්නට තිබුනා. කතාව ගලාගෙන යන්නෙ ෆැන්ටසිමය ආකාරයකට.  ඒක සාමාන්‍යයෙන් නව යොවුන් වියට පා තබන ඕනෙම ලමයෙක්ගෙ හිත ඇතුලෙ ගොඩ නැගෙන ෆැන්ටසියකට සමානයි. තමාට සුවිශේෂ හැකියාවන් තුලින් දස්කම් දක්වමින් අන් අයගේ පැසසුමට ලක්වෙන කතාව ගලායන චිත්‍රපටිය දකින ලමයා තුල ස්වාභිමානය ගැන පුංචි හරි හැඟීමක් අවුලුවන්න විදූ මහන්සි වෙනවා.

විදූ සර්ව සම්පූර්ණ චිත්‍රපටියක් නෙවෙයි. කතාව ඉදිරිපත් කිරීමෙදි එක් එක් තැන්වලදි නොසැලකිලිමත් බවක් පෙනෙන්න තියෙනවා . රංගනයෙත්, කැමරාකරණයෙත් වැරදි නොතිබුනා නොවෙයි. නමුත් ඉලක්කගත ප්‍රෙක්ෂක පරාසයට ගැලපෙන ලෙස නිපදවුන අනෙකුත් චිත්‍රපටි එක්ක (තියෙනවනම්) සැසඳුවොත් විදූ සාර්ථක චිත්‍රපටියක්. ඒ වගේ මනසකට ගැලපෙන ආකාරයකට යථාර්තයට ලංවෙන ගමන්ම වන යොවුන් වයසේ ෆැන්ටසිමය ආසාවන් සමඟ කතාව ගලපගන්න හඳගම සාර්ථක වෙලා තියෙනවා. නලු නිලි දෙපලගේ රංගනය විශිෂ්ඨ ආකාරයකට යොදාගෙන චිත්‍රපටියෙ සාර්ථකත්වයට ලං කරගෙන තියෙනවා.

කැලෑ සතුන් සමඟ හුරතල් වීමේ පුංචි පැංචි කතාවලුත්, පාසැල් වයසේ එකම ෆැන්ටසිය ප්‍රේමය ලෙස වරදවා වටහා ගත් “ඉතිං ඊට පස්සෙ” ගණයේ චිත්‍රපටිත් අතරමැදට බලෙන් විදූ රිංගනවා. ඒ රිංගන්නෙ කතාවට ඇහුම්කන් දෙන ඕනෙම කෙනෙක් තමන් ගැනම හිතන්න යොමු කරන ගමන්. අපි කොහොමද අපිට වටිනාකමක් හදා ගන්නෙ? ඒකට පාසැලට යන්නම ඕනෙ ද? පාසැල් නොගිහින් සාර්ථක වෙන්න බැරි ද? උපාධියක් අත්‍යවශ්‍යම ද? කැම්පස් යන්න ලැබුනෙ නැත්නම් අපේ ජීවිතේට වටිනාකමක් නැද්ද?

අපේ වීරයා අපිම නෙවෙයි ද? අපේ ජීවිතය අපේ නෙවෙයි ද?

පසු සටහන: කෝ හඳයා?

“හඳයගෙ ෆිල්ම් එකක්?”

මම බලන්න ගියෙ තවත් අමුතුම චිත්‍රපටියක් දැක ගන්න. තනි තටුවෙන් පියාඹන්න හදලා අක්ෂරය මකලා දැම්මට පස්සෙ හඳයගෙ පිටට කුරුසියක් පටවලා තිබුනා, රැඩිකල්ම රැඩිකල් සිනමාකරුවෙක් විදියට. ඒ කුරුසිය ඔහුගෙ පිටට පටවපු දහස් සංඛ්‍යාත රසිකයන්ගෙන් එක්කෙනෙක් විදියට මම සිනමාහලට ඇතුලු වෙනකොට කුරුසිය බිමින් තියන්න හඳයට ඉඩ දීලා තිබුනේ නැහැ. නමුත් විදූ හරහා ඔහු ඒ කුරුසිය බලෙන්ම බිම තියලා ඇවිදගෙන ගිහින් තිබුනා. එලියට එනකොට “හඳයා කෝ? විදූව පෙන්නලා හඳයා කොහෙද ගියේ?” කියන එක හිතේ රැඳුනේ ඒකයි.

ආගන්තුකයා කියපු විදියට “වෙනස් වීමද වෙනස් විය යුතුය”.

9 thoughts on “විදූ : කෝ හඳයා? | Vidhu

  1. සන්තියාගෝගේ කතාව (the alchemist) කියවලා මම සම්පූර්ණයෙන් වෙනස් මිනිහෙක් වුණා.
    හඳගම සමහර විට මොකක් හරි හේතුවකින් වෙනස් මිනිහෙක් වෙන්න ඇති. සමහර විට විවිධ විදියෙ නිර්මාණ කරන්න පුළුවන් නිර්මාණශීලීත්වයක් ඔහුට ඇති. මේ දෙවැනි හේතුව තමයි නිවැරදි වෙන්න ඕන.
    විචාරය ආසාවෙන් කියෙව්වා.

  2. ව්දු බලලම තමා මේකට මොනා හරි ලියන්න වෙන්නේ… හඳගම වටේ ශාසනයක් හැදිලා කියන එක මාත් පිලිගන්නවා.. ඒක අපේ වැරැද්දක් වෙන්නත් පුළුවන්… අනික පවතින තත්වයත් එක්ක හඳගමට එලියට එන්න පුළුවන් එකම විදිහත් ඕකනෙ.. ඹ්ක ආකාස කුසුම් වලටත් වුනා….

  3. ඒක නම් හරි ආගන්තුකයෝ! අනික හඳගමයේ දර්ශනය හා රුඩිකල්මයභාවය ඊට හේතුවක් වෙන්නට ඇතැයි මම හිතනවා.

    සන්තියෝගේ කතාව ලිව් පාවුලෝ හඳගම වගේ වුණත් ඔහු ඒක කේන්ද්‍රයක්ට ඔබ්බෙන් යන කෙනෙක්, හැබැයි ඒ කේන්ද්‍රීය ලක්ෂය වරෙන් ඔරෝ ගත්තොත් අපේ ආගම්වල උගන්වන මුලික යටි අරමුණුම තමා.

  4. සිනමා විචාරය ත් හඳගම ගැන සමාජයේ ඇති කරපු ආකල්පයත් ඒ කල්පිත හඳයා විදූ හරහා සාමාන්‍යයීකරනය කිරීමත් අපූරුවට ගලපා උපරිම අකාරයෙන් ලියා තිබෙනවා.

    මේ විචාරය කියවනන් ලැබුනු අයෙකුට විදූ බැලීමේ තදබල ආසාවක් ඇති වෙන එක නම් වලකවන්න සක්කරයගේ පුතා වයිමට වත් බැරි වේවී . .

  5. මට නම් තාම විදූ බලන්න වෙලාවක් තිබුනේ නෑ.. ඒත් පුළුවන් තරම් ඉක්මනින් බලන්න අදහසක් නම් තියෙනවා.. මට හිතෙන විදිහට අශෝක හඳගමට දැන් තමයි දරිද්‍රතාවය කියන එක දැනිලා ඇත්තේ මගේ හිතේ.. ඒකයි මේ හැමෝටම බලන්න පුළුවන් ලංකාවේ සිනමාවේ හොඳම මාර්කට් එක තියෙන ළමයි ඉන්න චිත්‍රපටියක් හදන්න ඇත්තේ.. අනික නිවාඩු කාලේ එළියට දාපුවාම බලන ප්‍රමාණයත් වැඩී.. ‍ඔය තනි තටුවෙන් පියාඹන්න අක්ෂරය හදලා බංකොලොත් වුන මනුස්සයා, ජාමේ බේරාගෙන අතට යමක් කමක් එන විදිහක් එන ගැන හිතපු එක නම් ‍සෑහෙන ලොකු දෙයක්.. මමත් ලිපියක් ලියන්න බලන්නම්කෝ චිත්‍රපටිය බලලාම.. ජයස් !

  6. විදු බලලා කටිටියම අහනවා කෝ හදයා කෝ හදයා කියලා මට පේන්නේ මේ කවිරැවත් හදයා හදපු විදූ බලලා නෑ කියලාමයි

    හරියට විදූ බැලුවනං ඔය ඉන්නේ හදයා

    • ඔව්.. මේ ගැන පස්සෙ කාලෙකදි මටත් හිතුනා.. හැබැයි හඳයා ඉන්නෙ වෙනම අදහසක් අතින් අරගෙන. රාවය පත්තරේට ලබා දීලා තිබුන සම්මුඛ සාකච්ඡාවකදි ඔහු කියල තිබුන දේ වලින් ඒ බව පැහැදිලි වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *