Wamp සහ Skype ආරවුල

මගේ php හා අනෙකුත් server සම්බන්ධ වැඩ වලට යොදාගන්නේ WAMP මෘදුකාංගය. මෙය Apache, MySQL සහ PHP ඇතුලත් server එකක්. PHP ක්‍රියාකරවීමට එය යොදාගන්නා web server එකට .php ගොනුවකට ඉල්ලීමක් (request) පැමිණි විට php වලට යැවීමට configure කර තිබිය යුතුය. මෙය සෑම විටම Apache වෙනමත්, MySQL වෙනමත්, PHP වෙනමත් ස්ථාපනය කර අතින් (manually) සිදු කල හැකියි. ඒ ලෙසම ඒ සියලු කරදර නැතිව WAMP වැනි package එකක් ස්ථාපනය කල හැකියි. එවැනි පැකේජ වල පෙර සඳහන් කල configuration එක පෙරනිමියෙන් පැමිණෙනවා. පළමු ක්‍රමය හෝ දෙවැනි ක්‍රමය තෝරා ගැනීම පරිශීලකයා අතේ. වැඩියෙන් feeling එක ගන්න ඕනේ අයට කට්ට කාලා manually කරන්න පුලුවන්. මමනම් කියන්නේ එහෙම එකපාරක් දෙපාරක් කරල එදිනෙදා භාවිතයට මෙවැනි පැකේජයක් භාවිත කරනවනම් හොඳයි. වෙන්නේ මොකද්ද කියලා දැනගන්න එක හොඳ වුනාට බස් තියෙනවා කියලා දැන දැනත් හැමදාම පයින් යන්න ඕනේ නෑනේ. Wamp වලට අමතරව xampp කියලා පැකේජයකුත් තියෙනවා. ලිනක්ස් වලට වෙනම පැකේජ තියෙනවා. Wamp පිළිබඳ මම මගේ අනිත් බ්ලොග් එකේ මුල්ම පෝස්ට් එක විදියට ලියලා තියෙනවා.

මේ මට වෙච්ච පොඩි පහේ ඇබැද්දියක්. ඔබටත් මේක වුනොත් කියලා ලියලා තියන්නේ. ඔබ දන්නවා ඇති Apache සහ MySQL වැඩකරන්නේ service විදියට. මේවා සර්වර්. යම්කිසි port එකක් හරහා service එකක් දෙනවා. Apache port 80 හරහා web server එකක් විදියට ක්‍රියා කරනවා. MySQL port 3306 හරහා database server එකක් විදචියට ක්‍රියාකරනවා. ‍(මෙම port numbers සාමාන්‍යයෙන් භාවිත කරන ඒවා. ඒවා වෙනස් කරන්න පුලුවන්.) ඉතින් Apache හරි MySQL හරි ආරම්භ කරනකොට ඒ port නිදහස් වෙලා තියෙන්න ඕනේ. නැත්තන් එම service ආරම්භ වෙන්නේ නෑ.

දැන් තමයි skype රඟ මඩලට එන්නේ. ඒක අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න එක එක ports අහඹු ලෙස භාවිතා කරනවා. BitTorrent clients වගේ. ඒ වගේම skype port 80 සහ 443 විවෘත කර තබා ගන්නවා. ඒ හදිස්සියේ අර අහඹු ලෙස භාවිතා‍ කරන port එක පරිගණකයේ firewall එක මඟින් block කරොත් කියලා. ඒත් අපිට මේ ports ඕනේ. 443 භාවිතා කරන්නේ SSL වලට. ඉතින් අපි wamp හරි apache හරි ආරම්භ කලාම කියනවා ඒ port එක භාවිතා කරන්න බෑ කියලා. Wamp වැඩකරන්නේ නැත්නම් අයිකනය රතු පාටින් පෙන්වන්නේ. Apache හෝ MySQL ආරම්භ කරන්න බැරි වුනාම අයිකනය කහ පාට වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව wamp ධාවනය වෙනවා නම් සුදුපාට අයිකනයක් පෙන්වනවා.

මොනවද විවෘත කරලා තියෙන ports කියලා අපිට බලන්න පුලුවන් command prompt එකේදී පහත විධානය දුන්නනොත්.
netstat -a

එතනදි ඔබට දකින්න පුලවන් wamp හෝ apache ආරම්භ කරලා නැතත් skype විවෘත කරලා නම් 80 සහ 443 port විවෘත වෙලා කියලා. ඉහත screenshot එකේ මම skype විවෘත කරලා නෑ. මම මේක ලියන පරිගණකයේ skype නෑ.

අපිට දැන් විකල්ප කිහිපයක් තියෙනවා.

  1. S
    kype මගින් port 80 සහ 443 භාවිතය නවත්වන්න පුලුවන්
  2. Apache මගින් web server සඳහා භාවිතා කරන port එක වෙනස් කරන්න පුලුවන්
  3. Apache වැඩ කරන වෙලාවට skype වසා දමා තියන්න පුලුවන්

මෙයින් පළමු ක්‍රමය සඳහා File -> Option -> Connection -> Uncheck “Use port 80 as an alternative for…” අනුගමනය කරන්න.

ඊළඟ ක්‍රමය සඳහා Apache වැදගත් ගොනුවක් සංස්කරණය කල යුතු වේ. මෙය ප්‍රවේශමෙන් කල යුතුය. මේ පියවරට කලින් අදාළ ගොනුවේ backup එකක් සාදා ගැනීම වැදගත්ය.

දෙවැනි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට Apche වල httpd.conf නැමැති ගොනුව විවෘත කර ගත යුතුය. මෙය ඇත්තේ ‍APACHE_ROOT/conf/ යන බහලුම ඇතුලේ. Wamp වලනම් මෙය WAMP_ROOT/bin/apache/apache2.2.8/conf/ ඇතුලේ තියෙනවා. httpd.conf විවෘත කරගෙන ctrl+f ඔබා “Listen” සොයන්න. එවිට පහත ස්ථානයට පැමිණේ. එහි Listen 80 හි 80 යනුවෙන් ඇත්තේ web server සඳහා භාවිතා කරන port එකයි. 80 වෙනුවට ඔබට කැමති වෙනත් අංකයක් දමා save කර apache/wamp restart කරන්න. එවිට localhost වෙනුවට localhost:your_number යනුවෙන් බ්‍රව්සරයේ ඇතුලත් කිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස මම httpd.conf ගොනුවට ඇතුලත් කලේ port 8081 නම් බ්‍රව්සරයේ localhost:8081 ලෙස ටයිප් කිරීමට සිදුවේ.

ඊළඟට තියෙන්නේ ලේසිම සහ “සිම්පල්ම” ප්ලෑන් එක. Apache වැඩිය වෙනස් කරන එක මම අනුමත කරන්නේ නෑ. Wamp සහ skype දෙන්නම එකට වැඩකරවන්න ඕනේ නම පළමුවැනි ක්‍රමයට යන්න. දෙන්නම එක වැඩ කරවන්නේ නැත්නම් මේ ක්‍රමය හොඳයි.

මම තෝරගත්තේ තුන්වැනි ක්‍රමය. දෙකටම හොඳ නිසා.

7 thoughts on “Wamp සහ Skype ආරවුල

  1. මම පාවිච්චි කරන්නෙ XAMPP. තවම නම් මට එහෙම දෙයක් මීටර් වෙලා නෑ. XAMPP එක්කත් ඔය අවුල තියෙනවද?

    මම මේ ඊයෙ රෑ WAMPServer ඩවුන්ලෝඩ්කලා අද දානවා කියලා හිතලා. හොඳ වෙලාවට දැම්මේ නැත්තේ.

  2. ඒ ප්‍රශ්නය තියෙන්නේ apache වලට. Wamp, Xampp කියලා වෙනසක් නෑ. Wamp ස්ථාපනය කරගන්න. ඒක් ලේසියි XAMPP වලට වැඩිය =D

  3. මට ඔය ගැටලුව XAMPP වල ආවා.google වලට වද දීලා හොයාගෙන අන්තිමට 1 විකල්පය භාවිත කලා.

  4. ඇයි හැබෑටම මේ XAMPP ම පාවිච්චි කරන්නෙ.
    Apache, PHP, MySQL වෙන වෙනමම දාන්න කො.
    ඕනි නම් PHPMyAdmin නුත් දාගන්න පුළුවන් නෙ.
    මම හිතන්නෙ ඉස්සරට වඩා දැන් මේක ලෙසියි අළුත් Version එක්ක.

    කොහොම උනත් ස්ක්ය්පෙ එක්ක තියෙන අවුල නම් manually ලිහාගන්න ඕනි.

  5. අපෝ ඕවා වෙන වෙනම දාලා පිස්සු හැදෙනවනේ configure කරන්න ගියාම. කොච්චර ‍ලේසිද XAMPP, WAMP නැත්තං LAMP වගේ package එකක් දැම්මාම?

  6. අනිත් එක phpmyadmin මේ පැකේජ එක්ක එනවා. සමහර වෙලාවට මේ විදියට manually configure කලාට අවශ්‍ය module miss වෙන්න පුලුවන්. විශේෂයෙන් CMS භාවිත කරද්දී. මමනම් නිර්දේශ කරන්නේ Wamp.

  7. මමත් මේ වැඩේම ගොඩක් කාලෙකට කලින් කරා…පෝට් ස්කෑන් කරලා තමා හොයා ගත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *