කලම්බෝ : මේ ඔබේ මිනී පෙට්ටියේ කතාවයි

colombo

“අපි දන්නවා ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරගෙන පැය දෙකක් ඉන්න පුලුවන් කාලයක් නෙවෙයි මේක කියලා. ඒක නිසා කරුණාකරලා ඔබේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත නොකරන්න. යම් විදියකින් ඔබ ක්‍රියා විරහිත කලා නම් කරුණාකර එය නැවත පණ ගන්වන්න“

ඕඩියන්ස් එකේ පිටි පස්සේ ඉඳන් එන සෞම්‍ය අපිට කියන්නේ ඔන්න ඔහොම දෙයක්. මේ පටන් ගන්නකොටම. ටිකක් විතර ගල් බීත වෙන්නෙ ඔතනදි. ඊට පස්සෙ වෙන්න තියෙන අපි ගැනත්, වෙලා තියෙන අපි ගැනත් කතා කරන සෞම්‍ය රංගනය පටන් ගන්නවා.

“කලම්බෝ, කලම්බෝ, වී ලව් යූ කලම්බෝ“

සමාජෙ ඇතුලේ අපේ අතින්ම පාලනය ගිලිහුණ අවාසනාවන්ත පරම්පරාව ගැන විහිළුකාර ඛේදනීයත්වයකින් දොඩමළු වෙන “කලම්බෝ“ ගැන කියන්න තරම් මගේ වචන ලිස්ට් එක ඇති වෙයිද දන්නේ නෑ. ඉන්දික ෆර්ඩිනැන්ඩු මේ දේ ඉදිරිපත් කරන්නේ කොටස් හතරකින්. නැත්තන් බාගෙට ඉරිච්ච දිනපොත් පිටු පහකින්. “ප්‍රේම කීරීම කර මත පැටවුනු පරම්පරාවේ කතාව“.

“කොළඹ කියන්නේ ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය. හැබැයි මුලු ලංකාවම තියෙන්නෙ කොළඹ ඇතුලේ. එහෙම බලනකොට කොළඹ ලංකාවටත් වැඩිය ලොකුයි.“

කොලොම්පුරේ ශ්‍රියා, ඔබයි රම්‍ය සඳ කිරණ, twinkle twinkle little star අලුත් තාලෙකට වෙනස් සන්දර්භයක ඇහෙන්නේ වෙනස්ම හුරු පුරුදු සංගීත ඛණ්ඩ එක්ක. කතාව මුලදිම සෞම්‍ය කියන දෙයක් තමයි පරිස්සම් වෙන්න කියන එක. “ඔබ මේ කතාවෙන් ඔබව දකින්න පුලුවන්“. වෙන් වෙන්ව ඉදිරිපත් කරන කාණ්ඩ හතර මුලදි හැමෝම බඩ පැලෙන්න හිනා වෙනවා. හැම කාණ්ඩයකම අවසානයෙදි හැමෝම ඇටි කෙහෙල් කාලා. අපි හිනාවුනේ අපිටද? අපිට කට උත්තර නැති වුනේ වෙන්ඩ ඉන්න අපි දැකලද?

“එදා ප්‍රේක්ශකාගාරෙ හිටපු අයගේ මූණෙ අමුත්තක් තිබුනා“

රංගනය, සංගීතය, ආලෝකකරණය ආදියෙන් අසමසම මට්ටමකට කලම්බෝ ගිහින් තිබුනා. තාම උණුසුම නොගිය තරුණියකගේ මළ සිරුර සමඟ රමණයේ යෙදීමට බලාගෙන ඉන්න (ඒත් අයිස්ක්‍රීම් එක දිය වෙන්න කලින් ගෙදර යන්න ඕනෙ) අංකල් එන්න කලින් යෙදෙන කුඩා හඳුන්වා දීමේ කොටස විස්තර කරන්නත් බෑ. ට්‍රොලිය මතට එල්ල කරන මිටි කරපු අත් පාරක් ගානෙම පපුව ඇතුලට අත දාලා මිරිකනවා වගේ.

නොවැරදීම බලන්න යන්න අවශ්‍ය නාට්‍යයක් කලම්බෝ. එළියට එනකොට හිනා මූණක් දාගෙන එන්න බැහැ. මම හිතන්නෙ අපිවම දැකපු බයට. කලම්බෝ කියන්නේ අල්ටිමේට් වීවර් එක්ස්පීරියන්ස්.

11 thoughts on “කලම්බෝ : මේ ඔබේ මිනී පෙට්ටියේ කතාවයි

  1. තෝ නොදකිං! මේවා කියලා අපිට මෙහේ ඉන්න බෑ වගේ හිතෙනවා. කාලෙකින් හොඳ නාට්‍යක් බැලුවේම නෑ නෙව. ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ජනාධිපති තාත්තාට පස්සේ එකක් බලන්නත් බැරි වුණා.

  2. කාලෙකට පස්සේ බලපු ඉතා විශිෂ්ඨ නාට්‍යයක්. කරුණු වශයෙන් වෙන් වෙන්ව අරගෙන් කතාකළ යුතුයි. මේ නාට්‍ය ගැන හොද විචාරයක් මේ සතියේ රාව‍ය පත්තරේ තිබුනා.

  3. කොහෙද ඉතින් අපිට නාට්‍යයක් බලන්න යන්න නිදහසක් තියෙන එකක්යැ. මට නං බලන්න වෙන්නෙ තව අවුරුදු දෙක තුනක් ගියාට පස්සෙ කියල හොඳටම ෂුවර්.

  4. ayiyooooooo . . duke ba . . . kawada balanna puluwan weidoooooo . ..

    mewwa liyala ape hith riddanna epooo . . . balapu ayata joly . . .bar ayata . . ???

    kamk naha kamak na api natat hoda naatyak balanna ona ayata prayojanawath nisaa hita hada gannam . ..

  5. මේ නාට්‍ය ගැන මම තව කොහෙදි හරි කියෙව්වා. ඒ ‍වෙලාවේ ඉදං බලන්න පුදුම ආසාවකින් ඉන්නේ… ඒත් අවාසනාවකට තාම තියෙන දවසක් තැනක් ගැන කිසිම ආරංචියක් ලැබුනේ නැ.. මේ වගේ නාට්‍ය අපේ පළාත් වලට මළාට එන්නේ නැති නිසා කොළඹ කොහේදි හරි සෙට් උනොත් තමා. බලමු අනාගතේ මගේ පිං පොතේ බිංදුවක් හරි පිං තිබුනොත් බලන්න පුළුවන් වෙයි.

  6. මටත් ආස හිතුනා ඒක බලන්න. ඒත් තියෙන්නේ කොහේද, කවදද කියල දැනගන්න ක්‍රමයක් නැහැනෙ. පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ගැන සදහන් කරන්නකො. මම හිතන්නෙ එක මට වගේම අනිත් අයටත් වැදගත් වේවි

  7. කොහොමත් ඉන්දික ෆර්දිනැන්ඩුගෙ නාට්‍ය වල සෑහෙන ගත යුත්තක් තියෙනවා..මිනිහා උ/පෙළ කරන කාලෙ කලා “මුරුගසන් වරුසා” කියල නාට්‍යයක්..මන් ඒ කාලෙ පුන්චි එකී වුනාට මෙතන මට නොතේරෙන් මොකක්දෝ ලොකූ දෙයක් තියෙන බව එදත් වැටහුනා..වේදිකා නාට්‍ය පිස්සුවෙන් හිටියත්nat එකේ පෙන්නන එකක්වත් බලන්න යන්න ලැබෙන්නෙ කලාතුරකින්. ඒත් මේ කියන විදියට නම් මේක බලන්න යන්න ඕනෙ කොහොමහරි.