නිදහස් අධ්‍යාපනය සම්බන්ධ FUTA ක්‍රියාමාර්ගයට ඔබ සහය දිය යුත්තේ ඇයි

මාතෘකාව සම්බන්ධයෙන් මේ දිනවල අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. කෙටියෙන් පැහැදිලි කරන්නේනම් අධ්‍යාපනය සඳහා දල දේශීය නිශ්පාදනයෙන් 6%ක් වෙන් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සරසවි ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව තිබේ. මේ වන විට ආචාර්යවරුන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කොට මාස කිහිපයක් ගතව ඇති අතර සති කිහිපයකට උඩදී සරසවි වසා දැමුනි. සරලව කියන්නේ නම් ශ්‍රී ලංකාව තුල උසස් අධ්‍යාපනය නැමැති දැති රෝදය ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇත.

 උසස් අධ්‍යාපනය රටක ක්‍රියාකාරීත්වයට අතිශයින්ම වැදගත් පද්ධතියකි. ඉහත යෙදුමට අදාල PDF ගොනුව බාගත්තේනම් කොර ගසමින් හෝ දුවමින් තිබුනු උසස් අධ්‍යාපනය, මේ වන විට, අමන පාලකයින් විසින් කිසිසේත්ම ප්‍රයෝජනයකට නැති පද්ධතියක් බවට පත් කර ඇති ආකාරය කියවන්නෙකු හට පැහැදිලි විය යුතුය. මෙම ගැටළුව එක් තනිවුනු ගැටළුවක් ලෙස හෝ ගැටළුවක් නොවන ලෙසට දැකීම යුගයේ අවශ්‍යතාවයට සාපේක්ෂව එක්කෝ කුහක කමකි, නැතිනම් උපන්ගෙයි මරිමෝඩකමකි.

නිදහස් අධ්‍යාපනය නැමැති කොඩිය පෙරටු කරගෙන සෙමින් වුවත් එක්තරා බලවේගයක් රට තුල ගොඩ නැගෙන බව පැහැදිලිය. මේ එම බලවේගයේ තීරණාත්මක කාලයයි. ඔබ, රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයෙකු වුවත්, පරිපාලනය සම්බන්ධ නිලධාරියෙකු වුවත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ‍වුවත්, පෞද්ගලික ආයතනයක ශිෂ්‍යයෙකු වුවත් පාසල් ශිෂ්‍යයෙකු වුවත් මෙම ගැටළුව හා ඊ‍ට සම්බන්ධ බලවේගය පිලිබඳ උනන්දු විය යුතු සහ ඊට සහයෝගය කාලය දැන් එලඹ තිබේ.

නිදහස් අධ්‍යාපනය රටේ බහුතරයකට සැම විටම වාසිදායක ක්‍රමයක් වුවත් ජනතාව ඡන්දය ලබාදෙන්නේ නිදහස් අධ්‍යාපනය සිතෙන සිතෙන අයුරින් දූෂණය කර දැමිය හැකි ලෙසට අසීමිත බලයක් ධනපති ආණ්ඩුවකට පවරා දෙමින්ය. විපක්ෂය කුමක් කීවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය යන ගිලටීනයෙන් බේරීමට ණය බරින් මිරිකී සිටින කිසිම ආණ්ඩුවකට ‍හැකියාවක් නැත. ජනතාවක් ලෙස අපට කල හැක්කේ ආණ්ඩුවේ බලය සීමිත කොට ණය හිමියන්ගේ අණ කිරීම් වලට නැමීමට හැකියාවක් නොමැති ලෙසින් ආණ්ඩුව බැඳ තැබීමයි. නිදහස් අධ්‍යාපනයට කැමති හෝ අකමැති ඕනෑම පුරවැසියෙකු FUTA හා අ.වි.ශි.බ. පෙරටු කොට ගත් මෙම වෑයමට සහය දිය යුත්තේ එම හේතුව උදෙසායි. එනම් ආණ්ඩුවට එරෙහි සැලකිය යුතු විරෝධයක් එල්ල කිරීමයි.

නිදහස් අධ්‍යාපනයට බම්බු ගසා ගන්න යැයි කියා අත පය බැඳ ගන්නා ඔබට ඊලඟට දක්නට ලැබෙන්නේ රටේ අනෙකුත් සම්පත් හා පද්ධතීන් ඇසිපිය හෙලන පමාවෙන් විකුණා දැමීමට ලක්වන අයුරුය. පෞද්ගලික සේවකයින්ගේ විශ්‍රාම වැටුප යන උගුලට කට බුම්මාගෙන පය තැබීමටය. සෞඛ්‍ය රක්ෂණයක් නොමැති කමින් බිල ගෙවීමට කවුරුවත් නොමැතිව රෝහල් ‍කොරිඩෝවේ මියැදීමටය. මදක් අතිශයෝක්තියක් ලෙස පෙනුනත් මේ අනෙකුත් රටවල සිදුවූ/සිදුවෙමින් පවතින සත්‍යතාවයන්ය. මූලාශ්‍ර ගෙන දැක්වීමට නොහැකි වුවත් අන්තර්ජාලයේ කරක් ගසා වලංගු මූලාශ්‍ර කිහිපයක් සොයා ගැනීමට ඕනෑම කෙනෙකුට හැකිය.

පෞද්ගලිකව ලියුම්කරු හට FUTA හි අතීත ක්‍රියා ගැන සතුටු දායක හැඟීමක් නැත. ශක්තිමත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් කෙරෙහි FUTA හට ඇති හැකියාව සැකයට භාජනය වන එක් කරුණකි. එමෙන්ම පෞද්ගලිකව අත් නුදුටුවත් සරසවි ආචාර්යවරුන්ගේ අඩන්තේට්ටම් වලට (බොහොමයක් අධ්‍යාපනිකව) නිරතුරුවම හසු වූ ශිෂ්‍යයින් ලේඛකයා හට හමුව ඇත. පාසලක් නොවේ යැයි යලි යලි පැවසුවත් සමහර සරසවි දෙපාර්තමේන්තු තුල “ටීචට” ගතු කියා එයින්ම A දමා ගන්නා “රෙකෝඩ් මොනිටර්”ලා ඇත. ක්‍රිකට් තරඟයක් ඇති දවසට සරසවියට අඩිය තබන්නේවත් නැති ආචාර්යවරුන්, අඩුම තරමේ එක් අයෙකුවත්, ලේඛකයා දැක තිබේ. සිසු අයිතීන් පිලිබඳ ගැටුම් වලදී FUTA එක් ආයතනයක් ලෙස පෙනී සිටිය අවස්ථා පිලිබඳ ලේඛකයාගේ අවබෝධයක් නැත. මේවා ර‍ටේ අනෙකුත් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව අනවශ්‍ය ලෙස හිස උදුම්මවා ගත් ලක්ෂණය.

අනෙක් අතට ලේඛකයා නිරතුරුවම අ.වි.ශි.බ.යේ විවේචකයෙකි. ජවිපෙ සම්බන්ධතාද, අමානුෂික නවක වදය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීමද, දේශපාලනික නිදහස කෙරෙහි අවධානයක් නොමැති වීම ‍අතීත විවේචනයන් හි ප්‍රධාන කරුණු වී ඇත.

නමුත් දැන් අවශ්‍යව ඇත්තේ රජයේ ඒකාධිපති හැසිරීමට මුහුණ දීමය. මේ ලංකාඊනිව්ස් හෝ ජෙප්පන් විසින් හිතුමතේ භාවිතා කරනා “ඉඩි අමීන් ඒකාධිපතිත්වය” නොව සරසවි ආචාර්යවරුන්, සරසවි ශිෂ්‍යයින් හා වෘත්තීය සමිති ප්‍රමුඛ බලවේගයන් හට පිලිතුරු නොබැඳ හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමේ ප්‍රතිපත්තියයි. මෙම ක්‍රියාවලි‍යේදී FUTA හෝ අ.වි.ශි.බ. සමඟ ඇති වෙනස්කම් තාවකාලිකව හෝ පසෙකට දැමීමට සිදුව ඇත.

මේ සියල්ල තව දුරටත් මෙම රජයම පවත්වාගෙන යෑමට මිස වෙනත් අරමුණක් සඳහා ‍නොවේ. ණය හිමියන් සතුටු නොකලහොත් තව දුරටත් ණය ලැබෙන්නේ නැත. තව දුරටත් ණය ‍නැතිනම් වරායවල්, චන්ද්‍රිකා තාක්ෂණ මධ්‍යස්ථාන හා වෙනත් එවැනි ප්‍රදර්ශනාත්මක (හෝ අනාගතයේදී තෝරාගත් බලවත් රාජ්‍යයකට භාවිත කල හැකි) ව්‍යාපෘති ඉදි කල නොහැක. එවැනි ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘති නැතිනම් තවත් ඡන්ද කිහිපයකින් පසු යුද්ධයද විකිණීමට නොහැකි වූ කල විකුණා ඡන්ද ලබා ගැනීමට කිසිවක් නැත. මෙහිදී චීනය ගෝලීය ධනවාදයට අයිති නැතැයි පවසමින් ඔලමොට්ටල තර්ක සපයා වැඩක් නැත. චීනය සමාජවාදය අත හැරි‍යේ සමහර විට පලමු දේශපාලනික ඝාතනයත් සමඟ විය හැක. වර්තමානයේදි එය කහ පැහැති ගෝලීය ධනවාදයයි.

ඔබ තව දුරටත් කවා පොවා ඇති දැඩි කරන්නේ ඒ විෂම චක්‍රයයි. නෙලුම් පොකුණට, අධි වේගයට, චන්ද්‍රිකා තාක්ෂණික මධ්‍යස්ථානයට ඡන්දය දමමින් වල කපන්නේ ඔබේ අනාගතයටය. ‍FUTA හා අ.වි.ශි.බ. ප්‍රමුඛව ගෙන ඇති ක්‍රියාමාර්ගයට සහය දැක්වීම එම විෂම චක්‍රයෙන් ගොඩ ඒමට මේ වන විට ඇති එකම මගයි.

මීලඟ රැලියට සහබාගී වන්න. පාගමනට හැකි සහයෝගයක් ලබා දෙන්න. හැකි අයුරින් දන්නා හඳුනන අය මෙම ගැටළුව පිලිබඳ දැනුවත් කරන්න. රජයේ නාලිකා ‍මේ වන විටත් නිර්ලජ්ජී ලෙස බොරුව යොදා ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කඩා කප්පල් කිරීමට කටයුතු කරමින් පවතී. මෙම අත්තනෝමතික ක්‍රියාවන් හට විරුද්ධව ජනතාව පෙල ගැසෙනා බව ඔවුන් හට පෙන්වන්න.

අද උසස් අධ්‍යාපනයට කොකා පෙන්නා හෙට ‍වන විට ද්වීතියක අධ්‍යාපනයද ඉන්පසුව ප්‍රාථමික අධ්‍යාපනයද කඩා කප්පල් කර දැමීමට කසකැවෙනා හැටි ඇස් පනා පිට දක්නට තිබේ. ඒ නපුරු සැලැස්මේ ප්‍රධාන හවුල් කරුවන් දෙදෙනෙකි.

  1. හොඳින් හෝ නරකින් සැලැස්ම අනුව ක්‍රියාකිරීමට තනන ආණ්ඩුව – 35% ක බර
  2. නිශ්ශබ්දතාවයෙන් කල් ගෙවනා ඔබ – 65% ක බර

 

FUTA Facebook Page

3 thoughts on “නිදහස් අධ්‍යාපනය සම්බන්ධ FUTA ක්‍රියාමාර්ගයට ඔබ සහය දිය යුත්තේ ඇයි

  1. කාලීන අවශ්‍යතාවය හඳුනා ගෙන අනිත් අයව දැනුවත් කිරීම ගැන ප්‍රණාමය :)

Return Fire!