වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu

අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.

වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.

අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.

වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.

වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.

ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්

වින්ග් චුන් ප්‍රහුණුවේ වැදගත් අංගයක් වන Wooden Dummy පුහුණවේ යෙදෙන යිප් මාන්

යිප් මාන් ගේ සිසුන් අතරින් ලෝක ප්‍රසිද්ධ වූ අයෙක් වන්නේ සුප්‍රකට චිත්‍රපටි නලු බෲස් ලීය. අවුරුදු දහසයේ සිට වින්ග් චුන් සටන් කලාව හැදැරූ බෘස් ලී හොං කොං සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු සටන් කලා චිත්‍රපටි තුලින් ඉහළම ස්ථානයකට පැමිණියෙකි. වින්ග් චුන් මනාව හැදෑරීමෙන් පසුව ඔහු ජීට් කුන්ඩෝ නමින් තමාගේම සටන් කලාවක් නිර්මාණය කලේය. ඔහුගේ මරණයෙන් පසුව වුවද තවමත් ජනප්‍රියව වැජඹෙන ජීට් කුන්ඩෝ හි ආරම්භය එලෙස වින්ග් චුන් වේ.

යිප් මාන් සමඟ බෲස් ලී

විලියම් චුන් යිප් මාන් ගේ සිසුවෙක් වන අතරම වර්තමානයේ වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා තනතුර හොබවන්නා ද වෙයි. මොහු වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ලොව වේගවත්ම මුෂ්ටි පහර එල්ල කිරීමේ වාර්තාව 1984දී තත්පරයට මුෂ්ටි පහර 8.3ක් එල්ල කර තැබීම සම්බන්ධයෙනි.

ග්‍රෑන්ඩ් මාස්ටර් විලියම් චුන්

ලංකාව තුල වින්ග් චුන්, කරාතේ, ජීට් කුන්ඩෝ ආදී සටන් කලා මෙන් ජනප්‍රිය වී නැත. වර්තමානය වන විට ලංකාව තුල වින්ග් චුන් ඉගැන්වෙන්නේ වෙනම සටන් කලාවක් ලෙස නොව වූෂු සටන් කලාව සමඟ අමතර දෙයක් ලෙසය. අපගේ දැනුමට අනුව ජාතික වූෂු ඇකඩමිය යටතේ වූෂු පුහුණ කරවන පාසැල් තුල වින්ග් චුන් සුලු වශයෙන් උගන්වන නමුත් එයද කෙරෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව හා පිලිවෙලකින් තොරවය. අනෙකුත් වූෂු සංගම් තුල වින්ග් චුන් පුහුණු කරවන බවක් මේ වනතෙක් වාර්තා නොවේ. කෙසේ වෙතත් ක්‍රීඩාවක් ලෙස වූෂු ලංකාව තුල පත්ව ඇති පරිහානිය සලකන විට වින්ග් චුන් පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැක. කලින් කලට වූෂු තරඟාවලි පැවැත්වූවත් වූෂු හා සංෂූ සටන් හැර වින්ග් චුන් ඒවායේ භාවිතා වන්නේ නැත. පසුගිය කාලයේ දී වූෂු ක්‍රීඩාව හේතුවෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් මිය ගිය අතර එපමණින්ම වූෂු හා අනෙකුත් සටන් කලා පාසැල් හා අධ්‍යාපන ආයතන තුල තහනම් කිරීමට මුග්ධ බලධාරීන් ගත් තිරණය ද වූෂු හා වින්ග් චුන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ බව පැහැදිලිය. රග්බි ක්‍රීඩාව නිසා මිය ගිය අය (පාසැල් ශිෂ්‍යයින් පවා) ඕනෑ තරම් වාර්තා වන නමුත් රග්බි පාසැල් තුල තහනම් වූ බවක් අසන්නට නැත. සටන් කලා පිළිබඳ බලධාරීන්ගේ ඇති නොසැලකිල්ල හා ඒ පිලිබඳ වගකිව යුත්තන්ගේ ඇති නොහැකියාව මේ ක්‍රියාවලට හේතු වන බව අපගේ අදහසයි.නැතිනම් චීන ජනගහනයෙන් ඉතාමත් විශාල කොටසක් (අවුරුදු 70ත් වඩා මහලු අය පවා) පුහුණු වෙන තායි චී ද අඩංගු වූෂු ක්‍රීඩාව තහනම් වෙනතෙක් වැඩ කටයුතු සිද්ධ නොවිය යුතුය.

කෙසේ වෙතත් ලොව පුරා දැනට මිලියන 4ක පිරිසක් වින්ග් චුන් පුහුණුවේ නිරත වෙයි. විනය වර්ධනය කරවන ක්‍රීඩා අතුරින් ප්‍රධාන තැනක් ගන්නා සටන් කලා පිළිබඳ ලොව පුරා ඇති පිලිගැනීම එයයි.

සටන් කලාවක ප්‍රධාන තැන හිමිවන්නේ පහර දීම හා පහර වැලැක්වීමට වුවත් සටන් කලාවක් ප්‍රගුණ කිරීමෙන් ලැබෙන විනය හා ආධ්‍යාත්මික හික්මීම වෙනත් ක්‍රීඩාවකින් හිමි වනවා ද යන්න සැක සහිතය. සටන් ක්‍රමයක් සටන් කලාවක් වන්නේ එවිටය. චීන චිත්‍රපටියක් වන Hero තුල කඩු ශිල්පය පුහුණ කල අයෙකු පිළිබඳ පහත දෙබස් කාණ්ඩය ඇතුලත් වේ.

It’s just dawned on me!

This Broken Sword’s scroll isn’t about sword technique

but about swordsmanship’s ultimate ideal

…..

Swordsmanship’s ultimate achievement is the absence of the sword in both hand and heart

The swordsman is at peace with the rest of the world!

වින්ග් චුන් ආකාර සඳහා පහත වීඩියෝව බලන්න.

ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන් පිළිබඳ කුඩා වාර්තා වැඩසටහනක්

විවිධ වූෂු ශෛලීන්

Nanquan Wushu

Nanquan Wushu

Nan Dao - Southern Style Sword

Broad Sword

Long Sword සංදර්ශනයක්

20 thoughts on “වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu

  1. වින්ග් චුන් සටන් කලාවේ ප්‍රදර්ශන දැක තිබුණත් කැනඩාවේදීයි එහි වෙනස් ආකාරයට (ඇතැම් විට නිවැරදි ආකාරයට) චින්නූගෙන්ම දැක බලා ගත්තා.

    අනික් කාරණය නම් මේ ක්‍රීඩාව හදාරනවා නම් Crime Records (පාසල් සිසුවන්ට School Reports) පිරසක්සන අතර අදාල පුහුණු අයතන සමඟද කොන්දේසි ගිවිසුමට පිවිසෙනවා. ඒ වැනි ක්‍රමවේදයකුත් ලංකාවේ තිබිම වටිනවා. මොකද මේ ඇතැම් අය වුණත් පොදුවේ තම සටන් ක්‍රමවේදය ප්‍රදර්ශන කරන්නටත් අනෙක් අයට හානි කරන්නටත් පෙළඹි ඇති බව දැක ඇති නිසා.

    • අපේ රටේ පාර්ලිමේන්තුවට යන්නෙත් මිනීමරුවො. ඉතින් වින්ග් චුන් උගන්නන්න කලින් criminal records චෙක් කරල හරියන්නෙ නැති වෙයි මම හිතන්නෙ. :)

    • නැහැ. මම ටිකක් කලා 2003 වෙනකන්. ආයෙ කරන්න ආස වුනත් හරි තැනක් හොයා ගන්න අමාරුයි. බ්ලොග් ගඩොල් වූෂු කරනවද? :) කරනවනම් කොහෙද?

  2. ජිවිතයට පන්නරයක් ලබගන්න හොදම විදිවලින් එකක්..හරියට ඉගනගත කෙනා ඉගෙනගත ශිල්පය වැරදිවිදිහට යොදාගන්නේ නැහැ….(කාටවත් හින්සාවක් කරන්නෙ නැහැ)

  3. බොහොම වටින සටහනක්… වින්ග් චුන්ග් වාගේම වූෂූත් ප්‍රායෝගික සටන් කලාවක් ලෙස ලංකාවේ උගැන්වෙනවාදැයි මට සැකයි… මුල් පෙලේ පුහුණු කරුවන් කිහිප දෙනෙක් සිටියත් හරි හැටි මූලධර්ම ඉගැන්වෙනවදැයි මට තැවුලක් තියෙනවා… කරාතේ, ටයි කොන්ඩෝ හා ජූඩෝ ඊට වඩා පරිපූර්ණ ආකාරයකට ලංකාවේ ඉගැන්වෙනවා… වූෂූ ( හා වින්ග් චුන්ග්) බොහොම සියුම්ව ඉගෙනගත යුතු හා ඉගැන්විය යුත් කලාවන් යැයි මට හිතෙනවා.. හරි හැටි සටන් (especially street fighting) කිරීමක් දක්වා යාමට සැලකිය යුතු කාලයක් යනවා නේද…? අවුරුදු හතරපහක් විතර වූෂූ ප්‍රගුන කල කිහිප දෙනෙකු හා සටන් කිරීමෙන් ලැබූ අත් දැකීමක් ඒ… මේ වගේ සටහනක් දැක්ක මුල්ම වතාව සිංහල බ්ලොග් අවකාශයේ මම… බෙහෙවින්ම ස්තූතියි… ලංකාවේ තත්වය විස්තර කෙරෙන ගවේෂනාත්මක සවිස්තර ලිපියකට ආරාධනාවකුත් මෙයින්ම…

    • ඔව්. වූෂු බොහෝ විට (මම දන්න හැම තැනකම) ඉගැන්වෙන්නේ නර්තනාත්මක ක්‍රීඩාවක් විදියට විතරයි. කුන්ග් ෆු කියා පෝස්ටර තිබෙන තැන් දැක්කත් ඒවායේ ඉගැන්වෙන්නේ කුමක්දැයි හරියටම දන්නේ නැහැ.

      ඇත්තටම වින්ග්චුන් ලෝකයේ අද පවතින තත්වයට පැමිණ ඇත්තේ විශිෂ්ඨ සටන් කරුවන් ගේ වීදි සටන් නිසා. ලියුන්ග් ෂියෑන්, විලියම් චුන්ග් වැන්නන් එවැනි ප්‍රසිද්ධ වීදි සටන් කරුවන්. නමුත් මම වූෂු සහ වින්ග් චුන් හදාරපු කෙටි කාලය ඇතුලත ලංකාව තුල මෙවැන්නෙක් හමු වී නැහැ.

      තිස්ස අයියගේ ප්‍රතිචාරයට ස්තුතියි. ලංකාව තුල තත්වය අද පරිහානියකට ඇවිත් කියලයි මගේ අදහස. නමුත් ක්‍රීඩාව තුල දැනට නියැලෙන්නේ නැති නිසා මගේ නිගමන හැර කිසිවක් ඉදිරිපත් කිරීමට බැහැ. නමුත් මෙම ප්‍රතිචාර දෙස බලනකොට දැනට ක්‍රීඩාවේ නියැලෙන වූෂු ක්‍රීඩකයින් බ්ලොග්කරණයේ යෙදෙන බව පැහැදිලියි. සමහර විට ඒ අයෙකුට එම කාර්යය සිදු කල හැකි නම් වටිනවා.

  4. හ්හ්ම්ම්.. මම අදන්නෙ නැහැ නෙ පිටා වූෂු කලාය කියලා..
    බොහොම වටින පෝස්ට් එකක්..

  5. අපූරුයි!!!
    වින්ග් චුන් ගැන ලියන්න මුලපිරුවට පිටාට පිං!
    ලිපියේ පොඩි නිවැරදි කිරීම් කීපයක් කරන්න කැමතියි.
    1. “විලියම් චුන් යිප් මාන් ගේ සිසුවෙක් වන අතරම වර්තමානයේ වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා තනතුර හොබවන්නා ද වෙයි. ” – විලියම් චුන් යනු එක් වින්ග් චුන් ගුරුවරයෙක් පමණයි. දැනට වින්ග් චුන් මාර්කට් කරන අය අතර මුල් පෙළේ ඉන්න කෙනෙක් හැරෙන්නට ඔහු වින්ග් චුන් පරපුරේ වර්තමාන ප්‍රධානියා නොවෙයි. ඇත්තටම වර්තමාන වින්ග් චුන් පරපුර කොටස් ගොඩකට වෙන් වෙලා. විලියම් චුන් ඒ එක කොටසක ප්‍රධානියෙක්.

    2.”ජාතික වූෂු ඇකඩමිය යටතේ වූෂු පුහුණ කරවන පාසැල් තුල වින්ග් චුන් සුලු වශයෙන් උගන්වන නමුත්….” – මම දන්න විදිහට දැන් මේක වෙන්නෙත් නෑ. හැබැයි ලංකාවෙ වින්ග් චුන් පුහුණු වෙන තැන් තියනවා ( උගන්නන තැන් නෙවෙයි )

    වින්ග් චුන් ගැන උනන්දුවක් තියන අයට ඒ ගැන දැනගන්න Wong Shun Leung ගෙ The Science Of Wing Chun වීඩියෝ එක ගොඩක් හොඳ reference එකක්.

    ඒ ඇරෙන්න ලිපිය ගොඩක් වටිනවා. ආයෙත්පාරක් ඔන්න ඉත්තූතියි කිව්වා….

    පිටා බත්තරමුල්ලෙ ගිහින් තියන හැඩයි….. හික් හික් හික්

    • මේ ගැන උනන්දු තවත් සහෘදයෙක් හමුවීම සතුටක් :)

      විලියම් චුන් පරපුරේ ප්‍රධානියා වීම ගැන මතබේද තියෙනවා තමයි. නමුත් ඔහු එසේ වී තිබෙන්නේ වින්ග් චුන් ප්‍රධානීන්ගේ සමුළුවකදී කියල දැක්කා මට මතකයි. කෙසේ වෙතත් ඔහු දක්ෂයෙක් සහ වින්ග් චුන් කලාවට මහත් දායකත්වයක් සැපයූවෙකු බව පැහැදිලියි.

      මම අන්තිමට වූෂු තරඟාවලියකට සහභාගි වුන කාලයේදී වින්ග් චුන් ඉගැන්වීම නවත්වාගෙන ආවා මට මතකයි. අලුතින් එන සිසුන්ට ප්‍රාථමික ආකාර (forms) නැවත නැවත පුහුණු කරමින් සිටියා මිස දක්ෂයින් තෝරා බේරා ගැනීමේ ක්‍රියාවලියක් තිබුනේ නැහැ. වින්ග් චුන් වලට එලෙස වීම දුක්ඛ දායකයි.

      :) මමත් ජයන්තිපුර නම් ඇදලා තියෙනවා. උදේ පාන්දර ඉඳන් දවල් වෙනකම් පුහුණු වෙලා හිටපු සෙට් එක එක්ක එකට කාලා බීලා තියෙනවා. දැනටත් යන පාර මතකයි. ලොක්ක මොනව කියයිද දන්නේ නැහැ :P

  6. There are talented very few wushu instructors in Sri Lanka..But Politics has destroyed the development of wushu in Country…People who are in wushu federation of Sri Lanka, act like Puppets and they just have been doing nothing for years.There so few Sri Lankan martial arts styles too. Unfortunately there so many cheaters around the country who acts like masters in Native martial arts or Chinese Martial Arts.If anyone wants to explore the real essence of wushu,contact me ..I know the best place(I guess :) )

  7. ඇත්තටම දුර්ලබ ලිපියක්.මේ රටේ සටන් කලාවට ආදරේ පිරිස මේ වගේ ලිපි බලාපොරොත්තු වෙනවා.අ වගේම කියන්න දුකි අදකාලේ සටන් කලාව ඉගෙන ගන්න ගිහින් නොමග යන පිරිස තමි වැඩි.වින් චුන් ඉගෙන ගන්න අස ගාල්ලේ කෙනෙක් ඉන්නවනම් මාව contact කරගන්න

Return Fire!